ලෝකයම ගැලවෙද්දී අප යළිත් ගල් අඟුරුවල එල්ලෙනවාද?

www.silumina.lk,  2020 ජනවාරි 11,  නිහාල් පී. අබේසිංහ විසිනි

 

ඉදිරි මාස 3 – 4 ඇතුළත නියඟයක් ඇතිවෙන ලකුණු පිළිබඳව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ අනුව ඉදිරියේදී ජල විදුලිය හිඟ වී විදුලි අර්බුදයක් ඇති වන ලකුණු පහළ වී ඇත.

 

විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පවසන පරිදි පසුගිය වසර හතර හමාර ඇතුළත අපේ රටේ කිසිම විදුලි බලාගාරයක් ඉදිකර නොමැත. මේ නිසා මේ වසරේ මෙරට බලශක්ති ඉල්ලුම මෙගා වොට් 1,200කින් වැඩිවෙමින් තිබේ. ඒ අනුව මේ වසර ඇතුළත කෙසේ හෝ මෙගා වොට් 1,000කට වැඩි අලුත් විදුලි බලාගාර ඉදිකළ යුතුව ඇත. ඒ අතර විදුලිබල ඉල්ලුම් සපිරීමට පෞද්ගලික විදුලි බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබා ගැනීමත්, ඛනිජ තෙල් සංස්ථාවෙන් ණයට ඉන්ධන ලබා ගැනීමත් නිසා මේ වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000ක් වනු ඇතැයි ඇමැතිවරයා පවසයි.

 

 

විදුලිබල මණ්ඩලයේ ණය ප්‍රමාණය කෝටි 20,000කි. මේ නිසා ඉක්මනින්ම අපට මහා පරිමාණ බලාගාරයක් ඉදිකිරීම් අත්‍යවශ්‍යයි ඇමැතිවරයා කියයි.

 

ජල විදුලි බලාගාර ඉදිකිරීමට අපේ රටට තවත් ජල සම්පත් ‍නොමැති තරම්ය. ගල් අඟුරු බලාගාරවලින් ප්‍රබල පරිසර දූෂණයක් සිදු වේ. ඒ අනුව අපේ රටට සුළං, සූර්ය බලය, රළ බල විදුලිය, ජීව ඉන්ධන හා ස්වාභාවික වායු වැනි විකල්ප කෙරේ‍ අප යොමු විය යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

 

පරිසර යුක්ති කේන්ද්‍රය නොරොච්චෝලේ පුත්තලම අවට මුහුදු මාළු අනුභව කරන කාන්තාවන්ගේ කෙස් හා රුධිරය පිළිබඳව කළ පරීක්ෂණයක් අනුව එම කාන්තාවන්ගේ කෙස්වල අන්තර්ගත රසදිය මට්ටම පසුගිය වසර 4 – 5 ඇතුළත ඉහළ ගොස් ඇති බව පැහැදිලි විය. මේ පිළිබඳව කරුණු දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ ඒ කාන්තාවන්ගේ ශරීරගත රසදිය මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියම කර ඇති උපරිම රසදිය මට්ටම මෙන් 7 – 15 අතර ගුණයකින් වැඩි පුර පවතින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සාමාන්‍ය ලෙස මනුෂ්‍ය ශරීරයේ කොටස් දස ලක්ෂයකට තිබිය හැකි උපරිම රසදිය ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 1කි. නමුත් ඉහත පරීක්ෂණයට ලක් කළ කාන්තාවන්ගේ ශරීරවල කොටස් දස ලක්ෂයක රසදිය මයික්‍රො ග්‍රෑම් 15 ක් තිබූ අවස්ථා හමුවූ බව ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

 

අප කලාපයේ තවත් රටවල් 10ක මේ පරීක්ෂණය කළ අතර ඒ අනුව ඒ රටවල් අතරින් දෙවැනියට වැඩිම රසදිය මට්ටමක් පෙන්නුම් කළ කාන්තාවන් සිටියේ අප රටේ බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. ‘මින­මාටා’වල තිබී ඇති පරිසර දූෂණ මට්ටමටද මේ මට්ටම ළංවී තිබිණි.

 

මෙලෙස පසුගිය වසර 4 – 5 ඇතුළත මේ කාන්තාවන්ගේ ශරීරයේ රසදිය සංයුතිය වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉවතට දමන අපද්‍රව්‍ය බව මේ පර්යේෂණය කළ විද්‍යාඥයන්ගේ මතය වී ඇත. කෙසේ වුවත් නොරොච්චෝලේ බලාගාරය මගින් සිදු කරන පරිසර දූෂණය, වායු දූෂණය, ජල දූෂණය හා ගොඩබිම දූෂණය ලෙස විවිධාකාර වේ. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන පවසන පරිදි මේ බලාගාරයට පාරිසරික බලපත්‍රයක් ද නැත.

 

මේ අතර මෙරට විදුලි ඉල්ලීම් සපිරීමට නොරොච්චෝලේ බලාගාරය අසළ තවත් මෙගා වොට් 600ක තවත් ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට විදුලිබල ඉංජිනේරුවෝ පිඹුරුපත් සකස් කරමින් සිටිති. ඒ නිසා තවත් මහා පරිසර දූෂණයක් ඇරඹෙන බවත් අපේ බලශක්ති ඉල්ලුම සපිරීමට සුදුසුම විකල්පය පුනර්ජනනීය බලය හා ස්වාභාවික වායු බවත් විද්වත්හු සාධක සහිතව පෙන්වා දෙති.

 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ රටේ බලශක්ති ප්‍රතිපත්තිය අනුව ඉදිරි වසර 10 ඇතුළත අපේ රටේ විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් ම පුනර්ජනනීය බලයෙන් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල ඇමැති මහින්ද අමරවීර මහතා ද පෙන්වා දෙයි. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පවසන්නේ ගල් අඟුරු බලාගාර සඳහා ජපානය ඕනෑ තරම් ණය දෙන බවත් ඕස්ට්‍රේලියාව ගල් අඟුරු බලාගාර වැඩිපුර ඉදිකර බවත්ය. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් වැඩිපුර කැමැත්ත දක්වන්නේ පිරිසුදු ගල් අඟුරු බලාගාරවලට බව ද ඇමැතිවරයා කියයි.

 

කෙසේ වුවත් පසුගිය කාලයේ මෙරට යෝජනා වූ සුළං සූර්ය බල හා සුළං බලාගාරත්, කුඩා ජල විදුලි බලාගාරත් ඉදිකිරීම් විදුලිබල ඇමැතිවරු විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු වුවමනාවෙන් ම සිදු නොකළ බවත් ඊට විවිධ හේතු ඇති බව දැන් තමා සොයාගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.

 

“සමහර අයට වැඩි මිලට තාප විදුලිය ගත්තහම කොමිස් ලැබෙනවා. සමහර අයට සම්බන්ධ අයගේ තාප බලාගාර තිබෙනවා. ඉතින් විදුලි ඉල්ලුම වැඩි වුණාම ඒ තාප බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගන්නවා. ගල් අඟුරු බලාගාර ඉදිකරන විටත් සමහරුන්ට කොමිස් හා වරප්‍රසාද ලැබෙන බව පැවසෙනවා. මා ඒ සියලු දේ පිළිබඳව සොයා බලා සුදුසු පියවර ගන්නවා” ඇමැතිවරයා කියයි‍.

 

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති පරාක්‍රම ජයසිංහ මහතා පැවසුවේ ලෝක ජනතාව ගල් අඟුරු විදුලිය අත හරිමින් සිටින විට ශ්‍රී ලංකාව එය සාදරයෙන් පිළිගැනීම ඉතාම කනගාටුදායක වන බවයි. පිරිසුදු ගල් අඟුරු යොදා නොරොච්චෝලේ අසල තවත් ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට උත්සාහ දැරීම වයඹ පළාතේ කාන්තා, ළමා, තරුණ, මහලු, සියලු ජනතාවත්, උතුරු මැද, නැගෙනහිර ජනතාවත් තවත් ලෙඩ ගොඩකට ලක් කිරීමක් බව පරාක්‍රම ජයසිංහ මහතා සාක්ෂි සහිතව පෙන්වා දෙයි.

 

එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂණ ඒජන්සි‍ය පවසන පරිදි මෙගා වොට් 500 ගල් අඟුරු බලාගාරයකින් වසරකට ගෙන්දගම් (සල්ෆර්) ටොන් 10,000ක් ඒ බලාගාරය අවට පරිසරයට මුදා හැරේ. ඒ සමඟම අළු මෙට්‍රික් ටොන් 125,000ක් ද වසරකට ඒ අවට පරිසරයට මුදා හැරේ. මෙලෙස මුදා හැරුණු අළු නො‍රොච්චෝලේ අවට ගොඩ ගැසී ඇත. මෙගා වොට් 500ක ගල් අඟුරු බලාගාරයකින් අවලම්බිත කළු අංශු මෙට්‍රික් ටොන් 500ක් පිටවෙන බවත් ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ මහතා පවසයි.

 

මීට අමතරව එක්සත් ජාතීන්ගේ පාරිසරික ආරක්ෂණ ඒජන්සියට අනුව මෙගා වොට් 500 ගල් අඟුරු බලාගාරයකින් වසරකට බාහිර පරිසරයට පිටවෙන අධික විෂ ඇති ද්‍රව්‍ය කැඩ්මියම් ය. මෙවැනි බලාගාරයකින් වසරකට කැඩ්මියම් කිලෝග්‍රෑම් 17.5ක් හා ඒවාගේ ම විෂ රසදිය කිලෝග්‍රෑම් 410ක් ගල්අඟරු බලාගාරයකින් නිකුත්වේ. ඊට අමතරව ඊයම් කිලෝග්‍රෑම් 770ක් ද, නිකල් කිලෝග්‍රෑම් ‍‍385ක් ද, ක්‍රෝමියම් කිලෝග්‍රෑම් 400ක් ද, ආසනික් කිලෝග්‍රෑම් 101ක් ද මෙගා වොට් 500ක ගල්අඟුරු බලාගාරයකින් වසරකට පිටවෙන බව ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ මහතා පෙන්වා දෙයි. ඒ අනුව නොරොච්චෝලේ මෙගා වොට් 900 බලාගාරය මගින් පිටවෙන වස විස හා උපද්‍රව කාරක තොගය අපට තීරණය කර ගත හැකි ය. එමෙන් ම ගල් අඟුරු බලාගාරයකින් පිට‍වන වායු දූෂක හා අළු ආදිය මගින් බරපතළ වායු දූෂණයක්, ජල දූෂණයක් හා ගොඩ බිම දූෂණයක් සිදු වනු ඇති බවද පරාක්‍රම ජයසිංහ මහතා පෙන්වා දෙයි. පසුගිය රජය සැලසුම් කර ඇති පරිදි නොරොච්චෝලේ ප්‍රදේශයේ තවත් මෙගා වොට් 300ක ගල් අඟුරු බලාගාරයක් ඉදි කළ හොත් මේ ප්‍රදේශයේ ජනතාවට පමණක් ම නොව රටේම ජනතාවගේ පරිසර ප්‍රශ්න හා ලෙඩ රෝග තවත් වැඩි වනු ඇතැයි පරාක්‍රම ජයසිංහ මහතා අවධාරණය කරයි. නමුත් පුනර්ජනනීය බල ශක්ති මඟින් ඉහත ආකාරයට පරිසර දූෂණය සිදු වන්නේ නැත.

 

රටට ලාභදායි, පරිසරය සුරකින, සුදුසුම බලශක්ති වන්නේ සුළං බලය, සූර්ය බලය හා ජීව ඉන්ධනයි.

 

ගල් අඟුරු බලාගාර ඉදි කිරීම පිළිබඳව විරෝධය පළ කරන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැහැදිලිව පවසන්නේ ලෝකයේ දේශගුණ විපර්යාසය වලට ගල් අඟුරු බලාගාර හේතුවන බවයි. “අපේ රටත් ‘කියෝටෝ’ සම්මුතිය අස්සන් කර තිබෙනවා. ඒ අනුව අපිත් පොසිල පිලිස්සීම නිසා වායුගෝලයට වස විස නිකුත්වීම අඩු කළ යුතුයි. ඒ නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. අපේ ලෝකයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක දෙකකට වඩා වැඩි වුණොත් ජනතාව ජීවත් කරවීම ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ අනුව අප පොසිල ඉන්ධන පිලිස්සීම අඩු කළ යුතුයි.

 

ගල් අඟුරු පිලිස්සීම ලොව රටවල් රැසක් අත ඇර දාලා තියෙන දෙයක්. අද අපේ ලෝකයේ සමහර රටවල් ගල් අඟුරු සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. නමුත් පසුගිය රජය නොරොච්චෝලේ බලාගාරයට ආසන්නව තවත් මෙගා වොට් 600ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරලා තිබුණා. දැන් තිබෙන බලාගාරයෙනුත් හානි ගොඩක් වෙලා. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අලුත් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නවතා දමන ලෙසයි. තිබෙන එකත් පුළු­වන්නම් නවත්වා දමන්න කියා මා ඉල්ලා සිටිනවා. අපි මේ අලුතින් ඉදිකිරීමට යෝජිත බලාගාරයට විරුද්ධව සියලු ආගමික නායකයන්ද, ජනතා සංවිධාන එක්ව කටයුතු කරන්න සූදානම්.” යැයි අග­රදගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමිපාණන් පැවසූහ.

 

මේ පිළිබඳව අදහස් පළකළ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ ගැටලුව පිළිබඳව විද්වතුන් හා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් හා ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ කතිකාවතක් ඇති කරන බවයි.

 

මේ අතර විදුලි බල පනත අනුව සූර්ය බල හා සුළං බලාගාරවලට බාධා එල්ල වී ඇත. ඒ අනුව නව විදුලි බල ඇමැති මහින්ද අමරවීර මහතා ඒ පනතට අලුත් සංශෝධන ගෙනවිත් මේ වසරේ රටපුරා විවිධ ස්ථානවල සුළං හා සූර්ය බලාගාර ඉදි­කිරීමට සැලසුම් කර ඇත.

 

2020 වසරේ පුනර්ජනනීය බලශක්ති විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාවට නැංවීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙයි. එය සතුටට කරුණකි.

 

විදුලි බල අමාත්‍යාංශය පවසන පරිදි මේ වසරේ සුළං හා සූර්ය බලාගාර 2ක් ඉදිකර මෙගා වොට් 300ක විදුලි බලයක් නිපදවනු ලැබේ. ඉන් එක් බලාගාරයක් සියඹලාන්ඩුව ප්‍රදේශයේය. අනෙක් බලාගාරය පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය.

 

මේ පිළිබඳව කරුණු දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි පැවසුවේ අපේ රටට ඉතා සුදුසු පුනර්ජනනීය බලය බවයි.

 

ඉතාලිය, චීනය, ජර්මනිය වැනි රටවල් ඇතුළු මේ ලොව රටවල 75%ක් ගල් අඟුරු බලාගාර අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙනවා. පැරිස් සම්මුතිය අනුව ගල් අඟුරු බලාගාර ප්‍රමාණය සියයට 50ක් අඩු කළ යුතුයි. රජයෙන් ඩීසල්වලට හා ගල් අඟුරුවලට පූර්ණ සහන ලබා දෙනවා. ඒ සහන සුළං හා සූර්ය බලාගාරවලට ලබාදීම අත්‍යවශ්‍යයි. 2017 පෙබරවාරි සිට ගල් අඟුරුවලට වඩා සූර්ය බලය ලාභ බව ලොව විද්වතුන් ඔප්පු කර තිබෙනවා.

 

ඒ අනුව චීනය ගල් අඟුරු බලාගාර හදන්නේ නැහැ. ස්විට්සර්ලන්තය හා ජර්මනිය ද ඒ ගමන යනවා. අද අප ඉදිරියේ තිබෙන්නේ මානව වර්ගයා මුහුණ දෙන ප්‍රශ්නයක්. දේශගුණ විපර්යාස නිසා අපට 2017 – 18 වසරවල වැස්ස අඩු වුණා. 2019 ඕනෑවටත් වඩා වැස්සා. ඒ අනුව මේ ගැටලුව පැහැදිලිය. ඒ තත්ත්ව වළක්වන්න අපි ගල් අඟුරු වෙනුවට සුළං හා සූර්ය බලාගාරවලට යා යුතුයි. අපේ රටේ වයඹ, දකුණ, උතුරු ප්‍රදේශවල හොඳට සුළං තිබෙනවා. රටේ හැම තැනම පැය 8ක් 10ක් හොඳට හිරු එළිය තිබෙනවා. ඒවා ප්‍රයෝජනයට අරන් පරිසර හිතකාමී බලශක්තිය නිපදවන්න විදුලිබල අමාත්‍යාංශය පියවර ගත යුතුයි. රතන හිමි පැවසූහ.

 

ලංකාවේ උතුරේ ගෑස් ළිං දෙකක් කැණීම් කර තිබෙන බව පැවසූ රතන හිමියෝ එහි එකක ගෑස් තිබෙන බව සොයා ගෙන ඇතැයි ද පැවසූහ.

 

අපේ රටේ ඇති ගෑස් නිධිය තුළ ඩොලර් මිලියන 40ක් වටිනා ගෑස් තිබෙන බව පර්යේෂණ කළ සමාගම පවසා තිබේ. මේ අනුව මේ ස්වාභාවික ගෑස් නිධිය උපයෝගි කරගෙන මෙගා වොට් 1,200ක ස්වාභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට හැකිය. ගල් අගුරු හා ඉන්ධන වලට වඩා මේ ස්වාභාවික ගෑස් මඟින් වන පරිසර දූෂණය අවම බවට අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

 

මීට අමතරව මහවැලි මහ ජලාශ මත සූර්ය බල පැනල සවි කිරීම ද ඉතා ප්‍රයෝජනවත් බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. ඒ මගින් ජලාශවල ජලය වාෂ්පීකරණය වීම අඩුවීම මගින් ජල සංරක්ෂණය සිදුවෙන බව මහවැලි බලධාරිහු පවසති.

 

මේ පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා විද්‍යාභිවර්දන සංගමයේ හිටපු සභාපති ආචාර්ය ජනක රත්නසිරි මහතා පැවසුවේ අපේ රටට ගල් අඟුරු බලාගාර තවත් ඇති වුවහොත් රටේ පරිසර දූෂණය වැඩිවී, අපේ රටට අම්ල වැසි ඇතිවීමට පවා ඉඩ ඇති බවයි. නොරොච්චෝලේ බලාගාරය මඟින් සිදුවන පරිසර හානිය අවම කිරීමට වෙරළ දිගේ සුළං ආවරණ යෙදීම ආදිය යෝජනා වුවත් ඒවා ක්‍රියාත්මක වී නැති බව ද ආචාර්ය ජනක රත්නසිරි පවසයි.

 

ලංවිමයේ 2020 – 2039 ජනන සැලැස්මෙහි සඳහන් පරිදි ඉදිරියේදි නොරොච්චෝලේ මෙගාවොට් 300+600ක්ද ත්‍රිකුණාමලයේ ෆවුල් පොයින්ට්හි මෙගාවොට් 1,200ක්ද, දකුණු වෙරළේ මාවැල්ලේ මෙගාවොට් 600ක්ද වශයෙන් ගල් අඟුරු බලාගාර ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇත. නමුත් මෙම ස්ථාන තුනටම ගැටලුකාර තත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත.

 

වෙනත් විකල්පයක් ලෙස පුනර්ජනනීය පද්ධතීන් ස්ථාපිත කළ හැකි වුවද මෙගාවොට් 300ක තාප බලාගාරයකට ආදේශකයක් ලෙස මෙගාවොට් 1,500 – 1,800ක පමණ සමස්ත ධාරිතාවයෙන් යුත් පුනර්ජනනීය ප්‍රභවයන් ගණනාවක් පද්ධතියට සම්බන්ධ කිරීම අවශ්‍ය වේ. ඒ එක් එක් ප්‍රභවයක් මඟින් දිනක් තුළ ක්‍රියා කළ හැකි වන්නේ පැය කිහිපයක් පමණක් වන බැවිනි.තවද මෙමඟින් ජනනයකරනු ලබන විදුලිය ගබඩා කර ගැනීමට පහසුකම්ද සැලසිය යුතුය. නමුත් මෙවැනි ක්‍රියාවලියකට ලංවිමයේ එකඟතාව ලබා ගැනීම උගහටය.

 

එම නිසා ඉතිරිව ඇති විකල්පය වන්නේ ස්වාභාවික වායුවෙන් ක්‍රියා කරවනු ලබන සංයුක්ත චක්‍ර වායු ටර්බයින බලාගාර ස්ථාපිත කිරීමය. මෙහි මිල සමාන ධාරිතාවයෙන් යුත් කාර්යක්ෂම ගල් අඟුරු බලාගාරයක මිල මෙන් අඩකි. ගල් අඟුරු බලාගාරයක මෙන් කිසිදු පරිසර දූෂණයක් සිදු වන්නේ ද නැත. විචලනය වන ඉල්ලුමට සහ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙ විචලනයට සරිලන ලෙස තම ජනනය සකසා ගැනීමට හැකියාවක් ඇත. තවද මෙහෙයුම් සහ නඩත්තුව සරල වන අතර එම පිරිවැයද ගල් අඟුරු බලාගාරයකට වඩා බොහෝ සෙයින් අඩුය.

 

ශක්ති ඒකයකට අනුව ස්වාභාවික වායුව ගල් අඟුරුවලට වඩා මිලෙන් තරමක් වැඩි වුවද අනෙකුත් සියලු පිරිවැය අඩු නිසාත් වඩා කාර්යක්ෂම නිසාත් පරිසර හානිය වෙනුවෙන් කිසි පිරිවැයක් ඇතුළත් නොවන නිසත් මෙවැනි බලාගාරයකින් සහ ගල් අඟුරු බලාගාරයකින් ජනනය කෙරෙන විදුලි ඒකකවල මල ගණන් අතර මූල්‍ය වශයෙන් සැලකිය යුතු වෙනසක් නැති අතර එමඟින් ආර්ථික වශයෙන් ඇත්තේ ඉමහත් වාසියකි. මෙවැනි ස්වාභාවික වායු ටර්බයින බලාගාර තැනීමට දැනටමත් ආයෝජකයින් කිහිප දෙනෙක් ඉදිරිපත්ව සිටිති. තවද ද්‍රවිත ස්වාභාවික වායුව ආනයනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමටද රජය විසින් කටයුතු කර ගෙන යනු ලැබේ. එම නිසා එම යෝජිත ව්‍යාපෘති වහා ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම රටේ යහපත පිණිස වන බවද ආචාර්ය ජනක රත්නසිරි පවසයි.

 

රජය කළ යුත්තේ රටම ලෙඩ කරන ගල් අඟුරු වෙනුවට මෙලෙස පුනර්ජනනීය බල ශක්තිය මඟින් හා අපේ රටේ ඇති ස්වාභාවික වායු මඟින් විදුලිය ජනනය කිරිමට තම සැලසුම් සකස් කිරීමය. මෙරට විදුලි බල ප්‍රතිපත්තියේ වගකීම තනිකරම විදුලි බල මණ්ඩලයටම පැවරීම කළ යුතු නැත. ඒ සඳහා විදුලි බල අමාත්‍යාංශය විද්‍යාඥ උපදෙස් මත රටට උචිත, රටේ නායකත්වය අපේක්ෂා කරන තීන්දු තීරණ ගැනීමට පසුබට නොවිය යුතුය.

 

පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ සමුළුවක් ඇසුරෙනි.