විදුලි උත්පාදනයට පෞද්ගලික අංශයටත් ප්‍රවේශවීමට අවස්ථාවක්

www.lakbima.lk, 2016 නොවැම්බර් 25, පේ‍්‍රමිලා ධර්මසිරි

 

 

ඒකකයට අවම මිල රුපියල් 18.37 යටතේ මෙගාවොට් 60ක් පූර්ණ තරගය යටතේ මිලදී ගැනීමට යයි.

 

විදුලි උත්පාදනය සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ටද ප්‍රවේශ වියහැකි යෝජනාවක් ලබන සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

 

මෙගාවොට් 1000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යවසායකයින් 600ක් පමණ මේ වන විට ඉදිරිපත්ව ඇතැයිද එබැවින් පූර්ණ තරගකාරී ක්‍රමය යටතේ මිල තීරණය වන පරිදි සියලුදෙනාට අවස්ථාවක් ලබාදීමට අමාත්‍යංශය තීරණය කළේ යයි ද ඒ මහතා අවධාරණය කළේය.

 

දැනට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 60ක අවශ්‍යතාවයක් ඇති බැවින් පූර්ණ තරගය යටතේ ඒකකයට තීරණය වූ අවම මිල වන රුපියල් 18.37ක මිලකට පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් එම විදුලිය මිලදී ගැනීමට බලා‍පොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

 

පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා සොයන ව්‍යවසායකයන් සඳහා මෙය හොඳ අවස්ථාවක් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කිරීම සහ අනාගතයේදී විදුලි බිල අඩු කිරීම යන අරමුණුද මෙම තීරණ තුළ සැඟවී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.