පාරිසරික දායාද ඉවත දමා ගල් අඟුරු ආකරයක්වත් නැති අපි ගල් අඟුරු බලශක්තිය ගැන හීන දකිනවා

www.mawbima.lk, 2017 පෙබරවාරි  23, හර්ෂනී අර්සකුලරත්න විසිනි

සුළං, හිරුඑළිය, ජල විදුලිය, මුහුදු රළ, දැව ආදී පුනර්ජනනීය බලශක්ති උපයෝගී කර ගනිමින් බලශක්ති උත්පාදනයෙන් මෙරට ආර්ථිකයට දැනෙන වෙනසක් කළ හැකි බව ශ්රී ලංකා සුනිත් බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්රමරත්න මහතා පවසයි.

 

 

මෙරට ආනයන වියදමෙන් 50%ක්ම වියදම් වන්නේ ගල් අඟුරු, ඩීසල්, පෙට්රල්, ගෑස් ආදී බලශක්ති ආනයනයට බවත් රටේ සම්පත්ම යොදා ගනිමින් බලශක්ති උත්පාදනය කිරීම තුළින් මේ වියදම ඉතිරිකර ගත හැකි බවත් ඒ මහතා පවසයි.

 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (21දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

 

අරාබිකරයට ගොස් දුක්මහන්සි වී අපේ කාන්තාවන් මෙරටට ගෙන එන විදේශ විනිමයට වඩා මුදලක් රටට ලබා ගත හැකි ක්‍රමයක් තමයි මේ. මේ අතරින් සූර්ය බලශක්තිය ගැන කතා කළොත් ලොව ලාභම බලශක්ති ක්‍රමය තමයි සූර්ය පැනල ආධාරයෙන් නිපදවන බලශක්තිය.

 

අපට අවශ්‍ය කෝටි 2ක ජනතාවගෙන් නිරපරාදේ පිටරටට ඇදී යන මුදල් ආරක්‍ෂා කරගන්න වගේම රටට ආර්ථික ශක්තියක් ලබාදෙන ගමන් පාරිසරික ගැටලු අවමකර පුනර්ජනනීය බලශක්ති තුළින් අපේම බලශක්තියෙන් රටම සුරක්‍ෂිත කරවන්න.

 

එහිදී අදහස් දැක්වූ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.

 

අපේ රටේ පවතින විදුලි අර්බුදයට පිළියම් සෙවිය යුත්තේ බලශක්ති සුරක්‍ෂිතතාව ගැන අවධානය යොමු කරමිනුයි. දිනෙන් දින උග්‍රවන විදුලිබල අර්බුදය කළමනාකරණය කළ යුතුයි. අව්ව, වැස්ස, සුළං අපිට නො අඩුව තියෙන පාරිසරික දායාද. මේවා ප්‍රයෝජනයට නොගෙන ගල් අඟුරු ආකරයක්වත් නැති අපි ගල් අඟුරු බලශක්තිය ගැනම සිහින දකින එක නවතා දමන්න කාලය එළැඹිලයි තියෙන්නේ. ගල් අගුරු නිධි ඇති ඕස්ට්‍රේලියාව පවා පුනර්ජනනීය බලශක්ති වෙත යොමුවී ඇත්නම් ඇයි ගල් අඟුරු ආකරයක්වත් නැති අපට ඒක කරන්න බැරි.

 

ශ්‍රී ලංකාව කියන්නේ වසර පුරා හිරුඑළිය ඇති නිවර්තන කලාපීය රටක්. අඳුරු ගල් යුගයෙන් ඉවත් වෙලා ගල් අඟුරු මාෆියාව පැත්තකින් තියලා රටේ ආර්ථික, සමාජ, පාරිසරික ගැටලුවලට හොඳම උපක්‍රමය කුමක්දැයි සිතා බැලිය යුතු කාලය එළැඹ තියෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා 100% කින්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා ලංකාව ගෙන යනවා කියලා. දින 100 වැඩපිළිවෙළින් ඉදිරිපත් වුණෙත් 2030 වන විට 100%ක්ම දේශීය බලශක්තිය මත කටයුතු කළ යුතුයි කියන අදහසයි. මේ ප්‍රතිපත්ති දෙකේම ගල් අඟුරුවලට ඉඩක් නැහැ.

 

ගල් අඟුරු මාෆියාව පැත්තකට දමා තෙල් මාෆියාවට ඉඩ නොතබා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි වහා වහා ජනතාව යොමු කළ යුතු කාලයක් මේ සූර්ය බල සංග්‍රාමය යටතේ බිලියනයක් වූ සූර්ය වහල කඩිනම් කළ යුතුයි. සූර්ය උද්‍යාන ඇති කිරීම කඩිනම් කළ යුතුයි. සුළං සහ දැව බලාගාර ඇතිකිරීම කඩිනම් කළ යුතුයි. ලොව සියලු රටවල් එකඟවෙලා ඉවරයි ගල් අඟුරු සහ ඛනිජ තෙල් භාවිතයෙන් වැළකීමට. මේවා දහනයෙන් වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදාහැරෙන නිසාත් මේ හේතුවෙන් දිනෙන් දින මිහිතල උෂ්ණත්වය ඉහළ යන නිසාත් මේ පියවර ගත යුතුයි. ඒ වගේම ගංවතුර, සුළි සුළං, කුණාටු ආදී විපත් අද වැඩියි. ඒවායේ තීව්‍රතාවත් වැඩියි. ඊට බලපාලා තියෙන්නෙත් පෙර කී හේතුමයි.