ජීව ස්කන්ධ (Biomass) යොදා ගත යුත්තේ ඇයි?

ජීව ස්කන්ධ (Biomass) යොදා ගත යුත්තේ ඇයි?

ජීව ස්කන්ධ යනු සාමුහිකව ෆොසිල නොවන ඕගනික දෘව්‍යයකි. වෙනත් වචනයකින් ‘ජීව ස්කන්ධ’ යන්නෙන් විස්තර වන්නේ භුවිද්‍යාත්මක ක්‍රියාවලියක් තුළින් ගල් අඟුරු හෝ පැට්‍රෝලියම් වැනි පදාර්ථ බවට පත් ජෛව ස්කන්ධ හැර අන් සියලු සජීවී හෝ අජීවී ජෛව ජීවීන් ය.

ෆොසිල ඉන්ධන දහනය නිසා වසර දශ ලක්ෂ ගණනාවක් සිරවී පැවති CO2 නිදහස් කරයි. ඊට වෙනස්ව, ජීව ස්කන්ධ දහනය කිරීමෙන් පැලෑටිය වර්ධනය වීමේදී උරා ගත් CO2 වායුගෝලයට මුදා හැරීම විනා වර්ධනයේ හා නෙලා ගැනීමේ චක්‍රය පවත්වා ගන්නේ නම් ශුද්ධ CO2 නිකුත් කිරීමක් වන්නේ නැත. ඒ අනුව ජීව ස්කන්ධ විකල්පය CO2 වශයෙන් උදාසීනය. බල ශක්ති වගා‍ෙවන් කාබන් උරා ගැනීමක් සිදුවේ. එවැනි තත්වයක් යටතේ ජීව ස්කන්ධ යොදා ගැනීමෙන් නිපදවන බල ශක්තියෙන් කියෝටෝ සන්ධානය යටතේ සකස් කරන ලද පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණය ( Clean Development Mechanism CDM) යටතේ කාබන් හර (Carbon Credits) වල ප්‍රතිලාභයද හිමි වේ. කාබන් හර ටොන් එකක් ඇමරිකානු ඩොලර් 5-10 අතර මිලකට වෙළදාම් වේ.

පස සරු කිරීම

කලින් හේන් ගොවි තැනට යොදා ගැනීමෙන් නිසරු වූ ඉඩම් වල ග්ලිරිසිඩියා හා ලුයුසීනා වැනි නයිට්‍රජන් උපයෝගී කර ගන්නා ගස් සමග කෙටි කාලීන ශෂ්‍ය මාරු වන වගා පිහිටු වීමෙන් කලක් ගත වන විට නිසරු වූ පස් කලින් පැවති තත්වයටම පත් වේ.

පාංශු ඛාදනය

ග්ලිරිසිඩියා බෑවුම් වන කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය ( Sloping Agricultural Land Technology SALT) සඳහා කදිම බව ඔප්පු වී ඇත. බඩවැටි දෙකක් ඔස්සේ වගා කරන ක්‍රමයක් තුළින් පාංශු ඛාදනය නතර තළ හැක. මෙම ක්‍රමය උඩරට දුම්කොළ වගා කරන බිම් වල ඉතා සාර්ථකව යොද‍ා ගෙන ඇත.

මිල නියම කිරීම

බලශක්ති අන්තර්ගතය අනුව ඉන්ධන සඳහා යොදා ගන්නා දර ටොන් 4 ක් ගල් අඟුරු ටොන් 2 කට හෝ තෙල් ටොන් 1 කට සමානය. තෙල් ටොන් එකක මිල රැ.42000/ ක්ව පවතින විට සමාන බලශක්තියක් නිපද වීමට යොදා ගන්නා දර වල මිල ටොන් එකකට රැ.10000/ පමණ විය හැක. දැනට පරිසර හිතකාමීව වගා කළ දර ( ග්ලිරිසිඩියා) ටොන් එකක් ගෙනවිත් භාර දෙන මිල රු.2500/ කි. දැනට බල ශක්තියට ආදේශ බලශක්තියක් වශයෙන් පරිසර හිතකාමීව වගා කල දර (Sustainably grown fuel-wood SGF) තෙල් මෙන් තුන් ගුණයකින් ලාබය. ඉන්ධන සඳහා දර වෙළඳ පළක් නිර්මානය වීමෙන් ඉදිරියේදී එය වඩාත් ලාබ විය හැක. ෆොසිල ඉන්ධන මිල දිගින් දිගට ඉහළ යෑම හා සැපයුම වඩාත් අවිනිශ්චිත වන තත්වයක් යටතේ දේශීය වශයෙන් වගා කරන ඉන්ධන සඳහා යොදා ගන්නා දර වඩාත් සිත් ගනු ඇත.

ග්‍රාමීය ආර්ථිකයේ සේවා නියුක්තිය හා වර්ධනය

දර සදහා වන වගා කිරීම ග්‍රාමීය තරුණයන්ට ආකර්ෂණීය රැකියා අවස්ථාවක් විය හැක. සම්පූර්ණයෙන්ම බලශක්ති වන වගා කරන ලද හෙක්ටෙයාර් 20 ( අක්කර 50) කින් මිනිසුන් 40 කට පමණ කම්කරු ශ්‍රමය සදහා දිනකට රුපියල් 200 ක පමණ නොකඩවා ආදායමක් ලබා ගත හැක. මෙගාවොට් එකක විදුලි බලාගාරයකින් රු.දශ ලක්ෂ 25 ක් පමණ ග්‍රාමීය ආර්ථිකයට එකතු කරනු ඇත. මෙම මුදල ගොවීන් හා දර රැස් කිරීමේ නියෝජිතයන් අතර බෙදී යනු ඇත. මෙම අවස්ථාව නිසා ග්‍රාමීය තරුණයන් නාගරික ප්‍රදේශ වලට සංක්‍රමණය වීමද වැළෙකෙනු ඇත.

විදේශ විනිමය

ෆොසිල ඉන්ධන ආනයනය නොකිරීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වන අතර එසේ ඉතිරි වන සම්පත් වෙනත් ක්ෂේත්‍ර වලට හෝ සංචිත වලට හැර විය හැක.

ඉඩම් භාවිතය හා හරිත ආවරණය

පලදායී නොවන ඉඩම් විශාල ප්‍රමාණයක් දැන් බලශක්ති වන වගාවට වඩා හොදින් යොදා ගත හැක. වන වගාවක් පමණක් නොව රටේ හරිත ආවරණයද ඒ සමගම පුළුල් වනු ඇත. හෙක්ටෙයාර් 50,000 ක බලශක්ති වන වගාවක් ඇති කළ හොත් රටේ වන ආවරණය දැනට පවතින 19% සිට 25% දක්වා වැඩි වනු ඇත.

පිවිසිය නොහැකි ප්‍රදේශ වලට විදුලි බල ශක්තිය

සම්ප්‍රේෂණ දුෂ්කරතා නිසා රටේ බොහෝ ප්‍රදේශ වලට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා ගැනීමට නොහැක. එවැනි ප්‍රදේශ වලට හොදම විසදුම වන්නේ ජිව ස්කන්ධ විදුලියයි.

ආර්ථික, සමාජයීය හා පාරිසරික බලපෑම

ඉහත සදහන් කටයුතු වලින් සිදුවන ආර්ථික, සමාජයීය හා පාරිසරික බලපෑම සමස්ථයක් වශයෙන් මුළු රටටම ඉමහත් වාසියක් වනු ඇත.