ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව මෙවැනි බලාගාර දිරිගන්වන්නේ ඇයි?

03rd March 2016, newsfirst.lk

 

සාම්පූර් ගල් අගුරු බලාගාරයට ජලය ගෙන යන නල පද්ධතිය ඉදිකිරීමේදී නිවාස අහිමි වන පවුල් 3ක් අධිකරණයේ ගොනු කළ නඩුවක් අද යළි විභාගයට ගැනිණි.

 

එම නඩුවෙන් ඔවුන් ඉල්ලා සිටියේ, විකල්ප ස්ථානයක් ලබා දෙන්නේ නම් එය ජීවත් වීමට සුදුසු ස්ථානයක් විය යුතු බව ය.

 

මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව පවරා තිබුණේ, රජයේ ඉඩම් බැවින් එම ජනතාව ඉවත් කිරීමට අවසර දෙන ලෙස ය. නමුත් මෙම ඉඩම තමන්ට අයත් බව මෙම ජනතාව පවසයි. අද නඩුව කැඳවූ අවස්ථා‍වේ වැඩිදුර විභාගය අප්‍රේල් 24 වන දා දක්වා කල් තැබිණි.

 

සාම්පූර් තාප බලාගාරය මේ වන විට යළි කතාබහට ලක් වෙමින් ඇත්තේ, ඉන් සිදුව හැකි පාරිසරික මෙන් ම ආර්ථික බලපෑම ද හේතුවෙනි.

 

2017 වසර වන විට ඉහළ යන ඉල්ලුමට සරිලන ලෙස අඩු මිලට විදුලිය සැපයීමට යැයි පවසමින් මෙම ව්‍යාපෘතියට මුල පිරිණි.

 

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය ජාතික තාපබල සංස්ථාව අත්සන් කළ ගිවිසුමකට ත්‍රිකුණාමලය බලශක්ති සමාගම ස්ථාපනය කළේ ය. මේ යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම, ආයෝජන ගිවිසුම, ඉඩම් බදු ගිවිසුම, බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ගිවිසුම ලෙස තව ත් ගිවිසුම් 05කට අත්සන් තබා තිබේ.

 

ව්‍යාපෘතියට වැය කිරීමට අපෙක්ෂා කරන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 512කි. ගිවිසුම අත්සන් කර වසරක් ඇතුළත ඉදිකිරීම් ආරම්භ කළ යුතුව ඇති අතර ව්‍යාපෘතිය අවසන් කර විදුලිය නිපදවීමට නියමිතව ඇත්තේ, 2018 වසරේදී ය. මෙම බලාගාරයෙන් නිපදවන විදුලිය සාම්පූර් සිට හබරණ හරහා වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ දක්වා අධිසැර සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ ගෙනැවිත් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත ය.

 

චීනය, අමෙරිකාව වැනි ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දැමීමට තීරණය කර ඇති පසුබිමක ශ්‍රී ලංකාව මෙවැනි බලාගාර දිරිගැන්වීම සැක සහිත බව බලශක්ති විද්වතුන්ගේ අදහස යි. 2030 වන විට ගල් අඟුරු බලාගාර 13ක් ඉදිකිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කළ දිගු කාලීන සැලැස්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළේ ය.

 

බලශක්ති විද්වතුන් පෙන්වා දෙන්නේ, ගල් අඟුරු බලාගාරයකින් පරිසරයට විශාල වශයෙන් විෂ වායු මුදා හැරෙන බව ය. නොරොච්චෝලේ බලාගාරය මගින් පිටවන අනතුරු දායක වායු සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු නොකර තව ත් බලගාරයක් ඉදිකිරීමට වෑයම් කිරීම අනතුරු දායක බව ඔවුහු පෙනවා දෙති. ගල් අඟුරු තාප බලාගාර දෙකෙන් පිටවන විෂ වායු මෝසම් වැසි දෙකේදී ම ව්‍යාප්ත වීමෙන් පරිසරයට අහිතකර විපාක ඇති කරන බව පරිසරවේදීන්ගේ මතය යි. ඉන් භයානක සෞඛ්‍ය ගැටලු ඇති වනවා සේ ම කෘෂිකර්මාන්තයට සහ භෝග වලට ද දැඩි හානියක් සිදු වන බව ඔවුහු පෙන්වා දෙති.

 

පුනර්ජනණීය බලශක්තිය පිළිබඳව ලෝකය ම කතා කරන අවධියක ශ්‍රී ලංකාව කළ යුත්තේ අහිතකර ගල් අඟුරු පසුපස යාම නොවන බව විද්වතුන්ගේ අදහස ය.

 

සාම්පූර් බලාගාරයේ අනුග්‍රාහකයා වන ඉන්දියාව සුළං හා සූර්යය ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය ඉතා විශාල ලෙස ප්‍රචලිත කරමින් සිටින අතර ඔවුන් එම තාක්ෂණයේ පුරෝගාමීන් ලෙස ද හඳුන්වයි.